නිසලතාවයේ ගැඹුරු ස්වරය මධුර ලෙසම වැයෙනා සළපතල මළුව මත, ළඟ ළඟ පියවර තබමින්ම, ඔවූහූ මහා සෑ වහන්සේව පැදකුණු කළෝය… සෙමින් දැවටී ඉවත ඇදී යන සිහිල් පවන් දහරාවන් මතින් රහසින් මුමුණනා, දන්නා හැඟුමක නෑසුණු ස්වරයෙහි මිහිරියාවක සිත වෙළා ගනිමින්ම, ඔවූහූ මහා සෑ වහන්සේව පැදකුණු කළෝය… කුස තුළින් පැන නැගී ළය මඬල සිර කරන දරුණු වේදනාවෝ උපදනා, සියුම් ආවේගයන් ආයාසයෙන් දරා ගනිමින්ම, ඔවූහූ මහා සෑ වහන්සේව පැදකුණු කළෝය... සිඳී යන උගුරු තල විඩින් විඩ තෙමා ගනිමින්, නෙත් කෙවෙණි අගිස්සෙන් රහසේම කඩා හැළෙනා කඳුළු බිඳු මතින්, මහා සෑ වහන්සේ දෙසට යොමු කළ දෑසින්ම, පළමු වරටද, දෙවන වරටද, තෙවැනි වරටද, සිව්වන වරටද ඔවූහූ මහා සෑ වහන්සේව පැදකුණු කළෝය...